විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම

ශ්‍රී ලංකාව ජන්ම භූමිය කොටගෙන සිංහල ජාතිය බිහිවුණේ ඒ බිමේ කාලයක් තිස්සේ වාසය කළ අය මෙන්ම ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට භාරතයේ විවිධ රාජධානිවලින්, ජාවා සුමාත්‍රා ප්‍රදේශයෙන්, මැදපෙරදිගෙන් මෙන්ම අප්‍රිකාවෙන් ද සංක්‍රමණය වූ ජනකොටස්වල සංකලනයෙන් බව පිළිගත් මතයයි.

පසුගිය සියවසේ අග භාගයේ පමණ සිට ඒ ජන පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තම ජන්ම භූමිය අතහැර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපාකරය යනා දී විවිධ දේශයන්ට සංක්‍රමණය වී ඇත.

ඩයස්පෝරික හෙවත් විගාමික ජන ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ ද ඒ සංක්‍රමණික ජනතාව ය.

විදෙස් රටවල වාසය කරන සිංහල ජනතාව අතර ලේඛන කලාවේ නිරත වෙන් ලේඛක ලේඛිකාවන් රාශියක් සිටිති.

අපේ මේ අරමුණ ඔවුන් රචනා කර පළකර ඇති ග්‍රන්ථ සහ අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර එක් ස්ථානයකට ගොනු කිරීමයි.

මේ කර්තව්‍යය ආරම්භ කර පවත්වාගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදය විසිනි.

මේ වෙබ් අඩවිය තවමත් ඇත්තේ ආරම්භක අවදියේ ය. දැනට විස්තර ඇතුළත් ලේඛක ලේඛිකාවන් පහත සඳහන් දේශවල වාසය කරන්නන් ය.

1.   ඕස්ට්‍රේලියාව
2.   එක්සත් රාජධානිය
3.   ඇමරිකා එක්සත් ජනපදය
4.   නවසීලන්තය
5.   ප්‍රංශය
6.   කැනඩාව

විදෙස් රටවල සිට සාහිත්‍යකරණයේ යෙදෙන ඔබ ලියා පළකර ඇති ග්‍රන්ථ සහ අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර පහත ඊ-මේල් ලිපිනයට එවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
vigamika.writers@gmail.com

ස්තුතියි.

ලේඛක සංසදය, සිංහල සංස්කෘතික හමුව, නිව් සවුත් වේල්ස්,
ඕස්ට්‍රේලියාව

රෙදි වැලක වැනෙන සෞන්දර්යය – විපරීත මිනිස් සමාජයක අව්‍යාජ පිළිඹිබුවක්



වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැකිය. කවර මට්ටමක සමාජ ආර්ථික පසුබිමක වුවද, දුක, වේදනාව, කලකිරීම හා අපේක්ෂාභංගත්වය යනු අනිවාර්ය විඳවීම්ම වේ. “රෙදිවැලක වැනුනු සෞන්දර්යයක්” ද තිබෙන බව සිය සාහිත්‍යම ඇසින් දකින ලක්ෂ්මන් කොඩිතුවක්කු, කෙටිකතා අටක් උපයෝගීකරගෙන මෙම අඳුරු යථාර්ථයන් විවිධවූත් නව්‍යවූත් රටාවන්ගෙන් අපගේ රසවින්දනය වෙනුවෙන් යොමුකරයි.

පරම්පරාවම මේ මහපොළොවේම උපන් උන් වූ නමුත්, සිය දරුපවුලට බිම් කඩක නිවසක් තනාගැනීමට නොහැකිව ළතැවෙන විමලය්යාට උරුම, බෙදාගත් බත්පතේ වැලිවැටීමේ — එහෙම නැත්නම් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීමේ — අවාසනාව, තුන්වෙනි ලෝකයේ රටක පීඩිත පංතියේ මිනිසුන්ගේ ජීවිතයේ පොදු ලක්ෂණයකි. “අස්ථි” නම් වූ එම කෙටිකතාවෙන් අපවෙත දක්වන ආකාරයට, සමාජවාදී–ධනවාදී බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට කටගැස්මක් වූයේ මෙම මිනිසුන්ගේ ජීවිතයමයි. ඉතිහාසය ගැන මහත් භක්තියකින් කතාකරන ජාතියක වර්තමාන ඛේදනීය ඉරණම, දේශපාලන ධූරාවලිය තුල මිනිසාට සෙත සැදියයුතු, පොලීසිය උසාවිය පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම් ද පීඩිත මිනිසාගේ සැබෑ දුක් ගැහැට වලට පිළිසරණක් නොවන බව කතුවරයා සිය උසස් ලේඛන ශෛලිය භාවිතාකරමින් නවතාවයකින් යුක්තව අපවෙත කියාසිටියි. ඉතිහාසයේ විවිධ යුගවලදී හැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගත්තවුන් මුහුණදුන් ඛේදනීය ඉරණම සිය ලේඛන ශෛලිය තුළින් නිර්මාණාත්මක විවේචනයකට ලක් කරමින් පාඨක මනස නිවැරැදි දේශපාලනික දිශාවකට යොමුකිරීමට කතුවරයා උත්සාහ දරයි.

සදාචාරය සහ සංස්කෘතිය යනු අපගේ ජීවිතයන්ට එපිටින් පවත්නා, යම් දිනෙක අප විසින් වැළඳ ගත යුතු ජීවිත රටාවන් ද, නොඑසේනම් අපගේ එදිනෙදා ජීවිතය තුළින්ම පැනනැඟෙන හුදු අහඹු ජීවන රටාවක් ද යන්න විමසාබැලෙන මනාකොට රචිත කෙටිකතාවක් ලෙස “රෙදිවැලක වැනෙන සෞන්දර්යය” නම් කළ හැකිය. පතිවෘතාව, බෞද්ධ හා අනෙකුත් ආගමික ඉගැන්වීම් වලින් මෙහෙයවෙන සැමියා–බිරිඳ සංකල්පය, පීඩිත සමාජයක ජීවන අරගලය හමුවේ සැලී බිඳී යන ආකාරය මඟින්, සංස්කෘතිය යනු අනෙකක් නොව ජීවිතයම බවත් කතුවරයා කියාපායි. කිරි අම්මා දානය වැනි සංස්කෘතිකාංග, රූප හා සංඥා ලෙසින් යොදාගනිමින් කතුවරයා මතුකරන්නේ ඉහතින් කී සදාචාරය පිළිබඳවූ සංකල්පය ජීවන අරගලය තුළ ඉරිතලා යන ආකාරයයි. කර්කෂ වූ යථාර්ථය දෙස සානුකම්පිත ලෙසද, ඇතැම්විට හාස්‍යජනක ලෙසද බැලීමේ හැකියාව මෙම කෙටිකතාව තුළ කතුවරයා රඳවයි.

දේශපාලන අදහසක් දැරීම සෑම මිනිසෙකුගේම අයිතියක් වන අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අයිතියද වත්මන් ලෝකයේ දියුණු යැයි සම්මත සමාජයන් පිළිගන්නා තත්වයකි. ශ්‍රී ලාංකික සමාජය තුළ “අරගලය” වැනි මෑතකාලීන දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයන් ගැන, සිය මතය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරයක් තුළ රඳවමින්, කතුවරයා අපට “බට්ටෙක් කතා කරයි” නම් කෙටිකතාවෙන් ඉදිරිපත් කරයි. හුදෙක් තම දේශපාලන මතවාදයන් දේශනා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා වෙනුවට, එකිනෙකට පරස්පර මතවාද, දැනුම, අවශ්‍යතාව සහ ප්‍රායෝගික යථාර්ථය අතර ඇතිවන්නාවූ ඝට්ඨනයන් මගින් පාඨකයන් සිතීමට පොළඹවා එතුලින්ම විශිෂ්ට අදහසක් මතුකරවීමට කතුවරයා සමත් වෙයි.

මිනිස් ජීවිතයක් තනිකර සුදු හෝ කලු ලෙස බෙදා වෙන් කළ හැකිද? එය සැබැවින්ම අළු පැහැ නොවන්නේද? විටෙක වීරයෙක් ලෙස දකින චරිතයම දුෂ්ඨයෙකු වී අප ඉදිරියට නොපැමිණෙන්නේද? මිනිස් ජීවිතය තුළ සැඟවුනු ඒ අළු පැහැ ස්වභාවය මානුෂීය සුවඳක් සමග අප වෙත රැගෙන එන්නට “ඇගේ පුංචි රන් මාලය” නම් කෙටිකතාවෙන් කතුවරයා සමත්වෙයි. ආදරය යනු සැබෑවම පාවාදිය හැකි දෙයක් බවත්, කටුක යථාර්ථය හමුවේ මාතෘත්වය වුවද සංකල්පනාවක් පමණක් විය හැකි බවත් කතුවරයා අප වෙත ගෙනහැර දක්වයි.

මෙලෙස කෙටිකතා අටකින්, කතුවරයා අපට මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වා දෙයි. රස නිශ්පත්තිය සඳහා විවිධ රූප සහ සංසිද්ධීන් යොදාගන්නා ආකාරයෙන් කතුවරයා සිය පරිණත බව විදහාලයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරය තුළ කතුවරයා දක්වන සංයමය විශිෂ්ට ය. ගතවුනු දශක කිහිපය තුල යුද්ධය සහ අනෙකුත් දේශපාලන භීෂණයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකීය ජන සමාජය පිළිබඳව විශිෂ්ඨ කියවීමක් ලෙස රෙදිවැලක වැනෙන සෞන්දර්යය නම් කෘතිය නම් කල හැකිය. තවත් කාලාන්තරයක් යනතෙක් එකී දේශපාලන වියවුල්තුල වියැකීගිය මිනිසත්කමේ කම්පනයන් සංවේදී මිනිස් සිත් සතන් තුලින් අතුරුදහන් නොවන බව මෙකී නිර්මාණයන්ගෙන් අපට පැහැදිලි වෙයි. පීඩනයෙන්ද මර්ධනයෙන් ද හිරි වැටුනු ජීවිත දෙස ලේඛකයෙකු මෙන්ම සැබෑ මානවහිතවාදී සානුකම්පිත සැබෑ මිනිසෙකු ලෙස බැලීමේ හැකියාව ලක්ෂ්මන් කොඩිතුවක්කු තුල පවතී.

ලේඛකයා යනු ආශීර්වාද ලද්දෙක් නොවන බව මගේ අදහසයි. එක්තරා ආකාරයකට ශාපයකට හසුවූවෙකි.මිනිස් ජීවිතයේ අඳුරු වේදනාවන්ට මෙන්ම සමාජ අසාධාරණය කෙරෙහි වෙන අධි සංවේදීතාව ඔවුන්ගේ හදවත් වේදනාවෙන්ම පුරවන අතර එතුලින්ම මාණික්‍යයන් වන් නිර්මාණයන් ඔවුන් විසින් ලොවට තිළින කෙරේ. ලේඛන කලාව තුළ ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් සදාකාලික තාරුණ්‍යය උරුම කරගනු ඇතැයි මගේ බලවත් විශ්වාසයයි. එසඳහා මම ඔහුට ආශීර්වාද කරමි.

අනුෂ්ක තිලකරත්න
24/12/2025


ලක්ෂ්මන් කොඩිතුවක්කු, ඕස්ට්‍රේලියාව



ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ සාහිත්‍ය නිර්මාණ:

1.   පැය අටේ මිත්‍රයෝ (කාව්‍ය සංග්‍රහය), 2005
2.   පුංචි ටොමියා සිඩ්නි ගියා (ළමා කතාව), 2006
3.   පරමේෂ්වරී සහ වෙනම රටක් (කෙටිකතා එකතුව), 2009
     ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය
4.   හුස්ම (කෙටිකතා එකතුව), 2013
5.   පරාරෝපණය (යොවුන් නවකතාව), 2014
6.   මේ අපේ ලොවයි (ළමා කතාව), 2015
7.   ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් (කෙටිකතා එකතුව), 2015
     රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය
8.   කවුළුවකි මං පියන්පත් නැති (නවකතාව), 2017
9.   කැන්ගරු වන්නම (නවකතාව), 2019
10.  තෙවෙනි රැල්ලේ පෙම්වතිය (කෙටිකතා එකතුව), 2021
11.  රෙදි වැලක් වැනෙන සෞන්දර්යය (කෙටිකතා එකතුව), 2024

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
*   Colourless Dreams and More Stories (Short story collection: Translated by P Wattegama
     and Minulee Kodituwakku), 2021

ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටි නාට්‍ය නිර්මාණ:

1.   සකලකලා (ප්‍රහසනය)
2.   හුස්ම, 2016
3.   ප්‍රේමයට මාංචුවක්, 2017
4.   ගෝඩ් ෆෝ සේල්, 2018
5.   කිකිළියෝ හඬළති, 2025

ලක්ෂ්මන් කොඩිතුවක්කු ළමා නාට්‍ය නිර්මාණ:

1.   කලියුගයේ අපායක්
2.   සුදු රාක්ෂයා
3.   උන් පොඩි එවුන්
4.   රත්තරන්
5.   වෙසක් කූඩුව
6.   හඳ හාවට මොකද වුණේ, 2025

වෙනත් විස්තර:
මීට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු ඕස්ට්‍රේලියාවේ සිට පළවෙන පහන, සන්නස සහ සිසිල නම් මාසික සඟරා සඳහා තීරු ලිපි, විශේෂාංග ලිපි සහ ග්‍රන්ථ විචාර රචනා කර ඇත.

ලිපිනය: ඊ-මේල්: ranidu61@gmail.com

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම