
ඉස්කෝලෙ කාලේ
සුන්දර ළමා වියට අප යළි ගෙන යන ජගත් ජේ. එදිරිසිංහ සෑදූ මැජික් දොරටුව
කුඩා දරුවන් මල් මෙන් යැයි අපි නිතර කියමු. ඔවුන් ගේ දසුන සුන්දර ය. වර්ණවත ය. අහිංසකත්වයේ, අවංකත්වයේ සහ අව්‍යාජත්වයේ ගුණ සුවඳ ඔවුන්ගෙන් විසිරේ. ඔවුන් ගේ බස් අප සවනට පිය තෙපුල් ය. ඔවුන් ගේ චර්යාව, හැසිරීම, ගති පැවතුම සුසිනිදු මල් පෙත්තක මටසිලිටු බව සිහි ගන්වයි.
නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.
පොහොට්ටුවෙන් සුපිපි කැකුලට පෙරළෙන මේ සුන්දර, පියකරු, මටසිලිටු, සුවඳ විහිදුවන මල් සමූහය චණ්ඩ හිරු රැස් මැද පීඩා විඳිති. සැඩ සුළඟට හසුව සැලෙති. බඹර පහරට අසුව කිලිටි වෙති. සැඩ වර්ෂාවෙන් පීඩා විඳිති. අවසානයේ ඒ සුපිපි පුෂ්පයෝ මුකුලිතව මිලානව ගොස් තමන් සිටින පෙරකී පරිසරයට ම එකතු වෙති.
මේ ලෝක ස්වභාවය මිනිස් සමාජයද පොදු ය. තමා වෙසෙන සමාජය විසින් මිනිසා හදනු ලබන බව කියවෙන්නේ නිකමට නොවේ. සමාජයේ ගොදුරක් වීමෙන් ගැලවී සදහටම වර්ණවත්ව බබළමින් ගුණ සුවඳ විහිදන්නෝ ඉතා අල්ප වෙති.
මේ හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, සුන්දර ළමා විය පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ චිත්ත සන්ථානයන් හි යට ස්ථරවල ස්ථිරව තැන්පත් වී ඇති මිහිරි මතක නිධානයන් කිරි මුහුද කළඹවා කල්ප වෘක්ෂය මතුකරගත්නාක් සේ පාදාගන්නට ඉවහල්වෙන, තත්වයෙන් මහාමේරු පර්වතයක් සේ සැලකිය හැකි නමුදු ප්‍රමාණයෙන් කුඩා, නවකථා පොතක් පිළිබඳව ඔබට පවසන්නටයි.
කුඩා පාසලක, කුඩා පන්තියක ඉගෙනුම ලබන කුඩා කොලු ගැටයෙකුගේ ජීවිත කථාවේ රසබර, දුක්බර, ප්‍රීතිජනක, ශෝක ජනක කතාන්දරය අපට කියන මේ කුඩා නවකතාව "ඉස්කෝලෙ කාලේ" නම් වේ. එය ලියා ඇත්තේ ජගත් ජේ එදිරිසිංහ නම් කෘතහස්ත ලේඛකයා ය.
ඉස්කෝලෙ කාලේ නවකතාව මුලින්ම අප අතරට ආවේ ගොඩගේ සමාගමේ යොවුන් නවකතාවක් ලෙසට මීට දශකයට පමණ ඉහත දී ය. අභාවප්‍රාප්ත ද්විභාෂා ලේඛක ඩී.බී. කුරුප්පු විසින් සිදුකරන ලද School Days නම් එහි පරිවර්තනය ද, මුල් කෘතියේ දෙවන මුද්‍රණයක් ද නොබෝදා සරසවි ප්‍රකාශන ලෙස නිකුත් වී ඇත.
යොවුන් නවකතා යනු සිංහල ප්‍රබන්ධ කලාවේ එක් ප්‍රධාන උප අංගයක් විය යුතු නමුදු තරමක් නොසලකා හරින ලද අංශයකි. මඩොල්දූව, අඹ යහළුවෝ, වනගත දරුවෝ සහ තුන් යහළු වික්‍රමය වැනි නවකථාවලින් මග සලකුණු තැබූ සිංහල යොවුන් සාහිත්‍යය යනු සිංහල නවකතාවේ උපත සහ පෝෂණය සිදුවූ පසුගිය සියවසක පමණ කාලය තුළ එතරම් දියුණුවට පත් නොවූ අංශයකි. අප දන්නා බටහිර ඉංගිරිසි යොවුන් සාහිත්‍යය හා සසඳා බලන කල මෙය ඉතා හොඳින් කැපී පෙනේ. මෙයට හේතුව විශ්ලේෂණය කිරීම වෙනමම මාතෘකාවක් නිසා ඉතා සරලව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණයත්, සිංහල යොවුන් සාහිත්‍යයේ මන්දපෝෂණයත් එකම කාසියේම දෙපැත්ත බවයි. ශාරීරික මන්දපෝෂණයට අඩු තරමේ ත්‍රිපෝෂවත් ලැබේ.
මෙවන් පසුබිමක් යටතේ ජගත් ජේ. එදිරිසිංහ, ඉස්කෝලෙ කාලේ රචනා කිරීමෙන් පොදුවේ සිංහල සාහිත්‍යයටත්, සුවිශේෂීව බටහිර යොවුන් සාහිත්‍යය කෘතිවල සරල පරිවර්තන කියවීම වෙනුවට වෙනත් විකල්ප හිඟයෙන් පෙළෙන යොවුන් නවකථා පාඨකයින් ට කරඇත්තේ කාලීන මෙන්ම අගනා සේවාවක් බව නොබියව කිව හැක.
මා එලෙස යොවුන් නවකතාවක් ලෙස ඉස්කෝලෙ කාලේ කෘතිය හඳුන්වා දුන්නද, මේ නවකතාවේ රසය උපරිම වශයෙන් විඳින්නට ලැබෙන්නේ තම ළමා කාලය කලකට ඉහත ගත කළ අප වැන්නන්ට යැයි මම සිතමි. ඒ එසේ වන්නේ, ඉස්කෝලෙ කාලේ නවකතාවේ පිටු අතරින්, පරිච්ඡේද අතරින්, ඡේද අතරින්, වාක්‍ය අතරින්, අකුරු අතරින් අපට දැන් දැන් මතකාබාධ වැලි තලාවෙන් වැසීයන අපේ සුන්දර ළමා කාලයට යළි පිවිසෙන්නට, යළිත් සුදු අත් කොට කමිසයකින් සහ කොට කලිසමකින් හෝ සුදු රැළි ගවුමකින් සැරසී පාසල් යන්නට අපට මානසිකව ඉඩ ලැබෙන බැවිනි. අපේ අතීතකාමය සංතර්පණය වෙන බැවිනි.
ඉස්කෝලෙ කාලේ නවකතාව ගෙතී ඇත්තේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු වන සමන් ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඇසුරිනි. මෙහි දී සමන් ගේ පාසලේ කතා මෙන්ම, ඔහුගේ පවුලේ කතා ද, ඔහු වසන ගම්මානය පසුබිම් කරගත් කතා ද, එකිනෙක සම සමව මුසුකරමින්, වරෙක හාස්‍යය ද, වරෙක අනුකම්පාව ද, වරෙක සංවේගය ද, වරෙක කෝපය ද, වරෙක සතුට ද පාඨක සිත් සතන් තුළ ජනිත කරමින් නිදහසේ ගලායන නවකතාවක් රචනා කීරීමට ජගත් ජේ. එදිරිසිංහ සමත්වී ඇත.
සම වයසේ යහළු යෙහෙළියන් සමග සමන් සිසුවා පාසලේ ඉගෙන ගන්නා හැටි, කොල්ලන් සමග ගම පුරා කරක් ගහනා හැටි මෙන්ම සමාජ අසාධාරණයන් සහ නපුරු ගුරුවරුන් නිසා තබ්ලාව වැයීම ඉගෙන ගන්නට, විවිධ ප්‍රසංගයන් හි නාට්‍ය , ගායනා යනාදිය ඉදිරිපත් කිරීමට, දිස්ත්‍රික් ගායනා තරග සඳහා සහභාගීවන්නට සමන්ට ඉඩ ඇහිරෙන අයුරු ජගත් ජේ. එදිරිසිංහ සරල සිංහල බසින් විස්තර කරන්නේ පාඨක සිත නවකතාවේ අවසානය දක්වාම බැඳ තබා ගනිමිනි.
සමස්ත කතා වස්තුව සලකා බලන කල, මා මේ ලිපිය ආරම්භයේ භාවිතා කළ මල් සහ පරිසරය පිළිබද උපමාව මෙහිදී තරමක් නොගැලපෙතැයි මට සිතේ. එසේ වන්නේ, ළමුන්ට අසාධාරණකම් කරන ගුරුවරුන් අතර තම යුතුකම් සහ වගකීම් නිසි අයුරින් ඉටු කරන හොඳ ගුරුවරුන්ද, තබ්ලා ඉගෙනුම අහිමි වු පුතුට ඩෝලැක්කියක් හෝ ගෙනැවිත් දෙන දෙමව්පියන් ද ඉස්කෝලෙ කාලේ නවකතාවේ සිටින බැවිනි. එය එසේ වුවද, ජගත් ජේ. එදිරිදිසිංහ මේ නවකතාව අවසානයේ නපුරු සමන්මලී ගුරුතුමිය ක්ෂගණිකවම හොඳ චරිතයකට පරිවර්තනයකරමින් ද, සමන් ට කවි ගායනා තරගයේ ජය ලබා දෙමින් ද කර ඇත්තේ පැවති සහ පවතින සමාජීය යථාර්ථයෙන් ඉවත්ව යෑමක් බව නම් මම ඉඳුරාම පවසමි.
”අවසානයේ යුක්තිය, සත්‍යය සැමවිටම ජය ගනී” යන ලොව පිළිගත් මිත්‍යා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙමගින් නවකතාකරුවා අනියම්ව සහය දෙන බව මගේ විචාරක ඇසට පෙනේ. කෙසේ නමුත් එලෙස සුඛාන්තයක් සහිතව නවකතාව අවසාන කිරීම මගේ පාඨක සිතට නම් මහත් වූ අස්වැසිල්ලක් ම විය.
හැත්තෑව දශකය පමණ නුදුරු අතීතයක් මත පදනම් වූ ඉස්කෝලෙ කාලේ නවකතාවේ කතානායක සමන් දිවි ගෙවන්නේ මිරිහාන, මාදිවෙල, ඇඹුල්දෙණිය වැනි මුළුමනින්ම නොවූවද බොහෝ දුරට සම්ප්‍රදායානුකූල ග්‍රාමීය පරිසරයකයි. අද පනස් වසරකට පසු ඒ ප්‍රදේශ කෙතරම් දුරට නාගරීකරණය වී ඇතිද, දුෂණය වී ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. පේළි අතර සැකෙවින් ලියවී ඇති ඒ ගම්පෙරළියේ කතාව ද මා මෙහිදී පාඨකයින්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.
අවසාන වශයෙන් කිව යුත්තේ,
ජගත් ජේ. එදිරිසිංහ රචනා කරන ලද ඉස්කෝලෙ කාලේ නවකතාව සුන්දර ළමා වියට අප යළි කැටුව යන මැජික් දොරටුවක් ම බවයි. ඒ දොරටුවෙන් ඔබ්බට ගොස් රිසි පරිදි අතීතකාමයේ ගැලෙන්නට මම ඔබට ආරාධනා කරමි.
- රසික සූරියආරච්චි
rasika.suriyaarachchi@gmail.com